කෙලෙස් කුළ පාමුල

කෙලෙස් කුළ පාමුල 
කර්තෘ - පාලිත වර්ණකුලසූරිය

කතුවරයාගේ කුළුඳුල් නව කථාව වන මෙම කෘතිය කියවාගෙන යාමේදී මට ඇතිවුන ප්‍රධාන ගැටලුව නම්, මෙය කිනම් වර්ගීකරණයකට අයත් ද යන්නය.

ප්‍රේම වෘතාන්තයක්ද , දේශපාලනික වටපිටාවකින් යුතු පුවතක්ද , අභිරහස් රහස් පරීක්ෂක කතාවක්ද, පුනරුත්පත්තිය සහ ආගම පිලිබඳ දාර්ශණික ලිවීමක්ද ? මෙවැනි ප්‍රශ්නාර්ථ ගොන්නක් සමඟ මුලු පොතම දවසකින් කියවා නිම කළෙමි. ඊට ප්‍රධාන හේතු වූයේ මොන ව්‍යකූලත්වය මැද වුවද කතාවේ එන ප්‍රධාණ චරිත වලට අවසානයේ අයත් වන ඉරණම දැන ගැනීමට ඇති කුහුළත්, එය වඩ වඩාත් වර්ධනය වන ලෙස කතාව ලියා ඇති ආකරයත් යන කරුණුය.

මෙහි සඳහන් සිදුවීම්, කතා බහට ලක් විය යුතු කාලීණ කරුණුය. කෙසේ වුවද ඉහත සඳහන් මාතෘකා ගොන්න එකතු කර ගොතා ඇති වියමන එතරම් සාර්ථක නැත. එහෙත් කුලුඳුල් ප්‍රයත්නයක් නිසා , ඉදිරියේදී එම අඩු පාඩු වලින් තොරව රසවත් සහ හරවත් යමක් පාඨකයින්ට ලබා දීමට හැකියාවක් ඇති බව පෙන්නුම් කරයි.

පුනරුත්පත්තිය සහ කිතු දහම යන පරස්පර විරෝධී කියවීමකට මා ප්‍රථමයෙන් මුහුන දුන්නේ වෛද්‍ය බ්‍රයන් වයිස් (Dr.Brian Weiss) විසින් රචිත පොත පත ආශ්‍රයෙනි. බුද්ධ දර්ශණය සහ කිතු දහම පිලිබඳව කතුවරයා තම චරිත හරහා ඉදිරිපත් කරන නව අර්ථ කථනද සිත්ගන්නා සහ සාකච්ඡාවට බඳුන් කරන සුළුය. පුරාණ ප්‍රවාද (විශේෂයෙන් Nebuchadnezzar ගැන සඳහන් කිරීම ) ජාතක පොතෙ, බයිබලයේ සහ ජනප්‍රිය සාහිත්‍යයෙ එන කථාන්තර ඇතුලත් කිරීම වැනි සියල්ලෙන්ම වැටහී යන්නේ කතුවරයා බොහෝ දේ පිලිබඳ දැනුමෙන් පොහොසත් අයෙකු බවයි.

එහෙත් මේ පොතේ ලොකුම අඩුපාඩුවත් එයමයි. බොහෝ විස්තර රැසක් අනවශ්‍ය ලෙස කතාවට ඈඳා ගැනීමට ගොස් පැටළිලි සහගත ලිවීමක් පොත පුරාවටම ප්‍රදර්ශණය වේ.

අනෙක් ලොකුම කාරණාව නම් පොතෙ පිට කවරයයි. මෙහිදී කතුවරයාට සහ පාඨකයා යන දෙදෙනාටම වී ඇත්තෙ අවැඩකි. කවරයේ සිටින ගැහණු රූපයට රැවටී මල් හෝ වල් පොතක් යයි මිළදී ගන්නවුන් ආගම දහම ජනප්‍රවාද ,දේශපාලණය සහ පුනරුත්පත්ති අතරේ අතරමං වෙති. වෙනස් ආකරයක කියවීමක් අපේක්ෂා කරන අය කවරය දැක පොත අතටවත් නොගෙන යති.

කෙසේ වෙතත් , ඉදිරියේදී මේ සියළු අත් දැකීම් වලින් පරිනත වූ කෘතියක් මේ කතුවරයාගෙන් බලාපොරොත්තු වෙමින් ඔහුට ජය පතමි.

                                                                   
මෙම ලිපිය 
Nilmanie Fernando‎  සහෝදරිය විසින් සකස්කරන ලද්දකි... මෙම ලිපිය සම්බන්ධ සියළුම අයිතීන් ඇය සතුයි...

No comments:

Post a Comment