චම්මින්ද වෙලගෙදර මහතාගේ අභිනව ප්‍රබන්ධය ‘පැන් කෙණ්ඩියක්’ යනුවෙන් නම් කර තිබේ. වරෙක එය යොවුන් නවකතාවකට සමීප වෙයි. කර්තෘ ස්වකීය ළමා විය හා යොවුන්විය මේ කතාවට විෂයය කරගන්නා බැවිනි. තව වරෙක මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ “මඩොල් දූව” අප සිහියට නැඟේ. ඊට සමාන ආකෘතියක් මෙහි භාවිත බැවිනි. තවත් වරෙක එය චරිත කතාවක ලක්ෂණ ප්‍රකට කරයි. කථකයා තමන්ගේ ම අත්දැකීම් ඒ අයුරින් ම වාර්තා කරන බැවිනි.
චම්මින්ද වෙලගෙදර මහතා නූතන ප්‍රබන්ධ කථාවේ ශිල්පීය ලක්ෂණ මුළුමනින් ම පාහේ අමතක කොට; කතාන්දරයක විලාසයකින් තම කතාව කියාගෙන යයි. ඇතැම් විට පැරැණි චාරිත්‍ර හා සම්ප්‍රදායයන් විස්තර කිරීම සඳහා විශාල ඉඩක් වෙන් කරයි. කුතුහලය දනවන කතාවක් එහි නැත. ගැටුමක් ද නැත. එහෙත් අතීත කාමයක් ඇත. කර්තෘ පෙරවදනෙහි ලා එය දක්වා ඇත්තේ මේ අයුරින් ය.
“මා විඳි මගේ සුන්දර බාල විය මගේ දරු මුණුබුරන්ට විඳින්නට ඉඩ ලැබුණේ ද, ලැබෙන්නේ ද යන්න ඒ කෙනිත්තිල්ලයි. එය මගේ දරු මුණුබුරන්ට පමණක් නොව; මේ රටේ සියලුම දරු මුණුබුරන්ට පොදු වූ න්‍යායයක් බවට පත් ව ඇත.”
චම්මින්ද වෙලගෙදර“එහි දී වැඩිහිටියකු ලෙසින් මා කුමක් කළ යුතු ද? ආපසු හැරී බලන කල මහා ශක්තියක්, අපේකමත් දෙන ඒ අත්දැකීම් ඔවුන්ට කියවීමට හෝ දීමට ලැබේ නම්, එය යහපතක් නො වේ ද? අද ඉතා කාර්යබහුල යාන්ත්‍රික සමාජ සත්ත්වයකු වෙමින් සිටින ඔවුන්ට මෙවැන්නක් විඳීමේ කාල පරාසයක් හෝ මානසික ඉසිඹුවක් හෝ අභිරුචියක් වෙත් ද?’
(මගේ කියවීම)
තලතුනා වයසේ පසුවන මහත්වරුන් නඟන පොදු තර්කයක් මේ කර්තෘවරයා ද ගෙනහැර දක්වයි. එනම්; අතීතය සන්සුන් ය. වර්තමානය යාන්ත්‍රික ය. අතීතය ඉතා සුන්දර ය. වර්තමානය අතිශය කටුක ය. අතීතය ශික්ෂාකාමී ය. වර්තමානය අශික්ෂිත ය. අතීතය මුදලට යට වූයේ නැත. වර්තමානය මුදලට යට වී ඇත. මේ අඩු - වැඩිය චම්මින්දගේ මල්ලෙහි තිබේ. ඉතිහාසය නිරූපණය කිරීම හා ඉතිහාසයෙන් පාඩම් උකහා ගැනීම නරක නැත. එය එක්තරා විලාසයෙකි. එහෙත් අතීත - කාමයට ගැතිවීම වෙනත් විලාසයෙකි. සමාජ පරිවර්තනය නොරුස්නා ග්‍රාම්‍ය ගතියක් එහි පවතී. නූතන පරපුරේ තාක්ෂණික භාවිතය හා විලාසිතා දෙස ඉවසීෙමන් බැලීමක් වැඩිහිටියන් තුළ නැත. කර්තෘ ද ඒ ගණයට අයත් පුද්ගලයෙකි. “ නුඹලා පොතකින් හෝ අපේ අතීතය විඳපල්ලා! එය අති විශිෂ්ට යි’, යනුවෙන් චම්මින් ද නූතන පරපුරට ඇඟිල්ලෙන් අනියි. එහෙත් අපගේ අත්දැකීමට අනුව නූතන තරුණ පරම්පරාව පොත් කියවන්නේ නැත. මෙබඳු පොත් කොහොමටවත් කියවන්නේ නැත.
චම්මින්ද රචනා කර ඇත්තේ නවකතාවක් නොවේ යැයි කෙනකුට තර්ක කළ හැකි ය. එහි නවකාවක ලක්ෂණ නැත. ඔහු තමාගේ අතීත පම්පෝරිය විදහා දක්වන කතාන්දරයක් කියාගෙන යයි. එය බොහෝ විට නීරස ය. ආකර්ෂණයෙන් තොර ය. කියැවීම වෙහෙසකර ය.
නවකතාව කතාන්දරයෙන් වෙනස් වන ප්‍රධාන ලක්ෂණ ගණනාවක් තිබේ. ඒ අතරින් ප්‍රධාන වන්නේ නිරූපණය, ආකෘතිය හා සන්දර්භය යි. කතාන්දරය කිසියම් සිදුවීම් මාලාවක් විස්තර කරන අතර නවකතාව තෝරාගත් ප්‍රබල සිද්ධි නිරූපණය කර පෙන්වයි. හෙවත් ජීවමාන කර දක්වයි. කතාන්දරයකට වඩා නවකතාවකින් හැඟීම් දැනවීමක් අපේක්ෂා කරයි. එලෙස ම නවකතාව ජීවිතය පිළිබඳ හැඳෑරීමක් හා ජීවිතය පිළිබඳ ගැඹුරු කියැවීමක් ලෙස ද සලකති. ආකෘතිය අතින් ගත් කල කතාන්දරයෙහි ඇත්තේ මුල - මැද - අග සම්බන්ධයක් සහිත ක්‍රමික විකාශයෙකි. නූතන නවකතාව එවැන්නක් අපේක්ෂා කරන්නේ නැත. සන්දර්භය හා අන්තර්ගතය අතින් ගත් කළ නවකතාව පුද්ගල ජීවිතය විශ්ලේෂණය කරයි. සමාජය විශ්ලේෂණය කරයි. එහි ඇත්තේ ගැඹුරකි. පාඨකයා නවකතාවෙන් සියුම් රසවින්දනයක් ගැඹුරු ජීවිතාවබෝධයක් මෙන් ම දැනුම් සම්භාරයක් ද ලබයි. විශේෂයෙන් සාර්ථක නවකතාවකින් පාඨකයාගේ වින්දනය හා චින්තනය දියුණු කරයි. කතාන්දරය ඇත්තේ ඊට වඩා සරල හා ප්‍රාථමික තැනක ය. චම්මින්දගේ ප්‍රබන්ධය කතාන්දරයකින් ඔබ්බට ගමන් කරන්නේ නැත.
ප්‍රථම පුරුෂ දෘෂ්ටි - කෝණයෙන් රචනා වී ඇති මේ ප්‍රබන්ධය කර්තෘගේ ළමා අවදිය හා යොවුන් අවදිය විස්තර කරයි. අර්ධ -වියළි ප්‍රදේශයක ගමක් මූලික කොට කතාන්දරය දිග හැරෙයි. කථකයා පිළිබඳ අනවශ්‍ය විස්තර රාශියක් එහි තිබේ. ගමට වැඩි වශයෙන් බලපාන දේශගුණය කර්තෘගේ අවධානයට ලක් ව තිබේ. වර්ෂා කාලය හා වියළි කාලයත් (නියඟය) කර්තෘ විස්තර කරයි. එහෙත් පරිසරයේ වෙනස්වීමේ ඒ - ඒ චරිතවලට බලපාන ආකාරය සියුම් ලෙස චිත්‍රණය කිරීමට කතුවරයා උත්සාහ කරන්නේ නැත.
“ ඊට මාස ගාණකට පස්සේ තමා ඉඩම් වලට අවසරේ ආවේ. හා හා පුරා කියලා ගමේ ඇත්තෝ කැලේ එළිපෙහෙළි කරන්ඩ යන්න ඉස්සරින් පන්සලේ ලොකු පින්කමක් වාගේ. කැවුම්, කිරිබත් උයලා ලොකු හාමුදුරුවො ඔක්කෝටම පිරිත් කිව්ව. කට්ටියම ගියේ බයිසිකල්වල. හැම බයිසිකලේම පොරවයි,කැත්තයි, පිහියයි ගානේ. කැති පිහියා අලුතින් මුවහත්තියල උදේ හිරු එළියට දිලිසෙනවා. බයිසිකල් නැති අය හීං හිමිදිරියෙම පයින් ම ගිහිල්ලලු.”
(පිටුව 120)
කර්තෘගේ අදහස වන්නේ පාඨකයා ගම ගැනත් ගමේ සංස්කෘතිය ගැනත් කිසිවක්ම දන්නේ නැති බව ය. එබැවින් ඔහු සියල්ල විස්තර කරයි.
මේ ප්‍රබන්ධය ජනශ්‍රැති කේන්ද්‍ර කොටගත් ප්‍රබන්ධයක් ලෙස කෙනකු වැරැදි වැටහීමක් ඇති කරගත හැකි ය. නූතන ලෝකය ජනශ්‍රැති අධ්‍යයනයෙහි ලා බලවත් උනන්දුවක් දක්වති. එය සංස්කෘතික අධ්‍යයනයට අයත් පුළුල් විෂය ක්ෂේත්‍රයෙකි. ජනශ්‍රැති ආශ්‍රයකොට ලියැවුණු අපූරු ප්‍රබන්ධවලට හොඳ ප්‍රතිචාර මෙන්ම හොඳ ඉල්ලුමක් ද තිබේ. අරාබි සංස්කෘතිය, අප්‍රිකානු සංස්කෘතිය හා ලතින් අමෙරිකානු සංස්කෘතිය මේ අයුරින් නව ප්‍රබන්ධවලට විෂය වී තිබේ. අරාබි ජනකවියක් ආශ්‍රය කොට ගෙතුනු අපූරු ප්‍රබන්ධයක් අප සිහියට නැඟේ. එය “Layla and Majnun” ය. මේ ප්‍රබන්ධය ලෝකය පුරා ඉංග්‍රීසි පාඨකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වේ. තවදුරටත් එය භාෂා විසි ගණනකට පරිවර්තනය වී ඇත. එය එක අතෙකින් ආදර වෘත්තාන්තයකි. තව අතෙකින් මනෝවිද්‍යාත්මක නවකතාවේ ලක්ෂණ ප්‍රකට කරන ප්‍රබන්ධයකි. ජනශ්‍රැති ආශ්‍රය කොට ලියැවුණු සාර්ථක නවකතා සිය ගණනක් ලෝක සාහිත්‍යය තුළින් උකගා ගත හැකි ය.
ජනශ්‍රැති ආශ්‍රය කිරීමට චම්මින්ද පෙලැඹී නැත. ඒ වෙනුවට ඔහු සිදු කර ඇත්තේ එක්තරා ගමක තත්කාලීන පසුබිම විස්තර කිරීම ය. ගම නවකතාකරුවන්ගේ ජනප්‍රිය විෂයයක් බවට පත්වූයේ 1960 ගණන්වල සිට ය. ගමෙන් නගරයට ප්‍රවේශ වන පුද්ගලයා විකාරකාරයකු හා වංක පුද්ගලයකු වන බව බොහෝ නවකතාකරුවන් කියා ඇත. රටේ උරුමය හා සාංස්කෘතික හර පද්ධතිය ඇත්තේ ගැමි සමාජය හෙවත් ගම තුළ පමණකැ’යි සමහරුන් කියා ඇත. ශ්‍රී ලංකාවට අනන්‍ය පෞරුෂයකින් යුතු මහා චරිත බිහි වන්නේ ගම ආශ්‍රය කිරීමෙන් පමණකැ’යි තව සමහරුන් කියා ඇත. ගම ශ්‍රී ලංකාවේ මූලය බව ද ගම නාගරීකරණයට පත්වීමෙන් රට විනාශ වන බව ද තවත් සමරුන් කියා ඇත. මේ සියල්ල බේගල්ය. ඔවුන් තම සිතැඟි ප්‍රකාශයට පත් කර ඇත්තේ නැවත විමසා බැලීමකින් තොරව ය. ගම හුවා දැක්වීමෙන් සිදුවන වාසිය කුමක්දැ’යි නිශ්චිතවම කිව නො හැකි ය. එහෙත් එය මෝස්තරයක් ලෙස දිගින් - දිගට ම පැවැතිණි. චම්මින්දගේ මේ නව කතාව ද එහි ප්‍රතිඵලයෙකි.
“පැන් කෙණ්ඩිය” නම් ප්‍රබන්ධය නවකතාවක් ලෙස සලකන්නට පුළුවන්කමක් නැත. එහෙත් එය ගම හා නිදහසින් පසු ග්‍රාමීය සමාජය විශ්ලේෂණය කරන කෙනකුට යම් අයුරකින් ප්‍රයෝජනවත් විය හැකි ය. එය ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ විහිද යයි.
(I) ප්‍රාදේශීය භාෂා ප්‍රයෝග අධ්‍යයනය කිරීම
(II) වී ගොවිතැන හා හේන් ගොවිතැන පිළිබඳ ඥානයක් ලබා ගැනීම
(III) ගැමි දරුවන්ගේ කෙළිලොල් ජීවිතය වටහා ගැනීම
(IV) මා-පිය, දූ -දරු සබඳතා ග්‍රාමීය සංස්කෘතිය තුළ වටහා ගැනීම
එක අතෙකින් බලන විට චම්මින්ද එළි දක්වන තොරතුරු නාගරික සමාජයට යම් ආධුනික බවක් තිබෙන්නටත් පුළුවන. එහෙත් සමස්තයක් ලෙස ගන්නා කළ සිංහල පාඨකයා ගම නොදන්නා කෙනකු ලෙස සැලැකිය නො හැකිය. කුමක් වුව “පැන් කෙණ්ඩිය” ප්‍රබන්ධ තුළ විශාල තොරතුරු සමූහයක් ද තිබේ. එය බොහෝ දෙනකුට ගම අධ්‍යයනය කිරීමට වැදගත් වන්නටත් පුළුවන. ඒ හැරෙන්නට නවකතාවකින් ලැබෙන ප්‍රහර්ශය හෝ ගැඹුරු ජීවිතාවබෝධය මේ ප්‍රබන්ධයෙන් ලැබෙන්නේ නැත.
රන්ජන් අමරරත්න
-සමන් නන්දලාල් මහත්මයා විසින් පොත් කියවන අය ෆේස් බුක් සමාජයේ පලකරන ලදී-
මට පෙනෙන විදියට මෙය විත්ති කතාවක්. විචාරකයා එය ජනශ්‍රැතිය පදනම් කථාවක් හෝ නවකථාවක් ලෙස පටලවාගෙන ඇත. මෙහි කතෘගේ අරමුණ විය හැක්කේ හුදෙක් ළමයින් ඉල්ලක්ක කොට පමණක් නොව තමාගේ මුල අමතක කොට 1 වසරේ සිට සිය දරුවා ශිෂත්ව පන්ති දක්කන මව්පියන් වියහැක. එලෙස දරුවාගේ ළමාවිය විනාශ කරන දෙමාපියන්ට සියුම් කම්පනයක් ලබාදීමට කතෘ උත්සහ දරා ඇත. මේ විචාරය ඔහුගේ එම කාලින උත්සාහයට එරෙහිව කළ කර්කෂ විවේචනයක් ලෙස මම දකිමි
ReplyDelete