මැදි වහරෙන් තෝරාගත යුතු අපේ වහර

මැදි වහරෙන් තෝරාගත යුතු අපේ වහර

දිනමිණ ජුලි 06 2015
බද්දර මල්ල - පොතකින් පෙත්තක්
අජිත් තිලකසේන කෙටිකතා, සංයුක්ත කවි ලියන නිර්මාණශීලි ලේඛකයෙක් විතරක් නෙමෙයි, සිංහල භාෂාවේ නවීකරණය ‍උදෙසා ද තීරණාත්මකව පෙනී සිටින්නෙක්. ඔහු මේ සම්බන්ධයෙන් දරන අදහස්, ආකල්ප ඔහු ලියා පළකර ඇති පොත් කීපයකටම ඇතුළත්. ‘මැදි වහර’ (අත්පොත) ඔහුගේ එම මතිමතාන්තර මැනවින් හකුළුවා දක්වන පොතක් විදියටයි මම දකින්නේ.
භාෂා නවීකරණය සම්බන්ධයෙන් අජිත් දක්වන මතවාද සරල වශයෙන් ගත්තම අංශ තුනකින් යුතුව විග්‍රහ කරන්න පුළුවන්.
න - ණ, ල - ළ බැහැර කිරීම. ඇත්තටම අද අපිට න - ණ, ල - ළ භේදයක් අවශ්‍ය නැහැ. එයින් එකක් (න/ල) අනුගමනය කිරීම ප්‍රමාණවත්ය කියන එකයි මගෙත් හැඟීම. අජිත් පවා ප්‍රායෝගික වශයෙන් න-ණ, ල-ළ භේදය තකන්නේ නැහැ. මහාචාර්ය සිරි ගුණසිංහත් මෙහිදී සිහිපත් කළ යුතු ලේඛකයෙක්.
පුවත්පත් කලාවේදීන් වශයෙන් අපට තවදුරටත් න-ණ, ල-ළ භේදය රැකගන්නට සිදුවීම කනගාටුදායකයි. 1964 දී ‘සවස’ පත්‍රය ප්‍රතිපත්තිමය වශයෙන් න-ණ, ල-ළ භේදය නොතකා ලිපි පළකරන්නට ඉදිරිපත් වූ බවක් මා අසා තිබෙනවා. එදා මෙදා තුර ගෙවුණු කාලය අඩසියවසකට ආසන්නයි. ඒත් අපේ පුවත්පත් අදටත් ‘න-ණ, ල-ළ’ තැකීම මොනතරම් පසුගාමී තත්ත්වයක් ද යි සිතා බලන්න වටිනවා.
අජිත් ‘ෂ’ ‘ශ’ අතරින් භාෂා ව්‍යවහාරයට ගත්තේ තාලුජ ‘ශ’ යන්න පමණයි. ලංකාවේ ආදිම ශිලා ලේඛනවල පවා පොදුවේ භාවිතා වී ඇත්තේ තාලුජ ‘ශ’ යන්න පමණක් බව අජිත් පෙන්වා දෙනවා.
රේපය (‍ෙ), සඤ්ඤකය පවා සිංහල භාෂාවෙන් අයින් කළාට කිසි වරදක් ඇතැයි මා සිතන්නේ නැහැ.
අජිත් ඊළඟට අවධානය යොමු කරන්නේ පිලි හා හල්කිරීම කෙරෙහියි. එහි සමරූපතාවයක අවශ්‍යතාව ඔහු පෙන්වා දෙනවා. මෙය කාලීන අවශ්‍යතාවයක්. මීට ඉහත අවස්ථා දෙකකදී මෙම සමරූපීකරණය ක්‍රියාත්මක කරන්ට රජය සූදානම් වුවත් එය කඩාකප්පල් කෙරුණ. පළමුවැන්න 1956 දී සිංහල යතුරු ලියනය මුල්කරගෙන ක්‍රියාත්මක කරන්න ගියා. දෙවැන්න 1972 දී රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව යෙදූ වැඩපිළිවෙළ.
අජිත්ගේ තුන්වැනි මතවාදය තමයි ලේඛනය සඳහා කටවහර යොදා ගැනීම. (අජිත් තම ‘මැදි වහර’ පොතෙන් වැඩි අවධානයක් යොමුකරන්නෙත් මේ ගැනයි) අපේ භාෂාවේ ද්විරූපතාවයක් තිබෙන බව අපි කවුරුත් දන්නවා. ඒ ගත් වහර හා කටවහර ලිඛිත බස හා කථික බස අජිත් යෝජනා කරන්නේ කටවහරෙන් ලියමු කියලයි. මෙය මීට ඉහත මහාචාර්ය සෙනරත් පරණවිතාන, ආචාර්ය චාල්ස් ගොඩකුඹුර, මහාචාර්ය සිරි ගුණසිංහ, සිරිපාල ලීලාරත්න, සිරිල් බී. පෙරේරා වැනි විද්වතුන්, ලේඛකයන් අනුගමනය කළ රීතියක්. ඒත් අවාසනාවකට මෙන් එය පොදු භාවිතාවක් බවට පත්වුණේ නැහැ. ගත් වහරින් කතා කිරීම විහිළුවක් වන නිසා කටවහරින් ලිවීමට අප පෙලඹෙන්නේ නම් වටිනවා. (‍මම ආරම්භයේ ඉඳන්ම මේ තීරු ලිපිය ලියන්නෙත් කටවහරන්)
අපේ ලිඛිත බසේ අනවශ්‍ය ලිංග භේදයක් තිබෙනවා. මේක ඇත්තටම අනවශ්‍ය දෙයක්. භාෂාවට ලිංග භේදයක් අවශ්‍ය නැහැ. කටවහරින් ලියන්න ගත්තම මේ ලිංග භේදයක් ඉබේම අහෝසිවෙලා යනවා.
අපේ භාෂාවේ තියෙන තවත් ප්‍රශ්නයක් තමයි ව්‍යවහාරයේ ඇති වචන සම්මතයට නොගැනීම. සත්තු වත්තට ‘සතුන් වත්ත’ කීම වඩාත් ව්‍යක්ත බව මෝඩ භාෂාවේදීත් කියා සිටිනවා. දැනුවත් ‘දැනුම්වත්’ කිරීමත් රැජින ‘රැජන’ කිරීමත්, බිරිඳ ‘බිරිය’ කිරීමත් තේරුමක් ඇති වැඩක් නෙමෙයි. මෙයින් භාෂාවටත් කාටවත් වන සේවයක් නැහැ. භාෂාව අපිට (මනුස්සාට) ඕනෑ විදියට හසුරුවා ගන්නවා මිසක් භාෂාවට ඕනෑ විදියට අපි හැසිරිය යුතු නැහැ. ලෝකයේ හුඟක් රටවල භාෂා නවීකරණය වෙලා තියෙනවා, එසේම වෙමින් පවතිනවා. අපි තමයි ඒ සම්බන්ධයෙන් තවමත් පසුගාමි. අපි අපේ භාෂාව ‘සිදත් සඟරාව’ ලියැවුණු යුගයට ගෙනයනවා නම් ඒක ආපසු අතීතයට යන ගමනක්. මෙහිදී උත්ප්‍රාසයට තුඩුදෙන කාරණාවක් වන්නේ භාෂාව සම්බන්ධයෙන් ප්‍රගතිශීලී යැයි අප සිතා සිටින වියරණ ඇදුරන්, වාග් විද්‍යාඥයන් පවා තවමත් භාෂා නවීකරණයට අනුකූලතාවයක් නොදැක්වීමයි.
අජිත්ගේ ‘මැදිවහර’ අපට භාෂා විෂයෙහි මං හසර කියාදෙන අත්පොතක් වන්නේ මෙවන් පසුබිමක.
සුනිල් මිහිඳුකුල
pothakinpeththak@gmail.com

-සමන් නන්දලාල් මහත්මයා විසින් පොත් කියවන අය ෆේස් බුක් සමාජයේ පලකරන ලදී-

No comments:

Post a Comment